Saturday, July 8, 2017

ඇසළ පොහොය

රන් පැහැ ඇසළ පුන් සඳ පායා           එද්දී
පින් සිත් ඇති ව බෝ මළුවේ         ඇවිදිද්දී
පැන් කලයෙන් දොවා බෝධිය     නහවද්දී
මින් පෙර නොවිඳි සන්සුන් හැඟුමක් සිත් දී

Thursday, July 6, 2017

කිම ද සොඳුරියෙ නුඹ නාවේ?

ගොළු වී තිබූ සත්සර හද                    වීණාවේ
සුසර කළේ වැයුමට පෙම්                  ගී රාවේ
නොකිව් කවියෙ පද පෙළ සෙනෙහෙන්  ලීවේ
අසන්නට කිම ද සොඳුරියෙ නුඹ           නාවේ

Wednesday, August 20, 2014

වියපත් මිනිසා...

ජීවිතේ එක් සැඳෑ වරුවක...
බලා උන්නෙමි වෙරළ මත හිඳ...
ඈත දියඹට ඇදෙන ඔරු දෙස...

ගෙවුණු දිවියේ මතක සටහන්...
පෙළ ගැසී යළි නැගෙයි සිහියට...
සිතුවමකි එය අරුම දනවන...

හිරු ද ගිලගත් ක්ෂිතිජ ඉම මෙනි...
ජීවිතය ගිල දැමූ කාලය...
ඉතිරියක් නම් නැති තරම් ම ය...

ම වෙත පිය මැන පැමිණි යොවුනෙක්...
සිනාසී ඇසුවේ ය පැණයක්...
"ගෙවී ගිය ජීවිතය ගැන සතුටු ද?"

"බොහොමත් ම සතුටුයි...
ඒත්...
කළහැකි ව තිබුණා මට...
තවත් බොහෝ දේ..."

එකෙණෙහි ම ඔහු අතුරුදන් විය.
පසක් විය මට....
ඒ මාගේ ම...

හෘද සාක්ෂිය.

Saturday, August 2, 2014

පුදුමයි! ලෝ සොබා...

ගුගුරමින් වැසි තෙමෙයි ගම් බිම්...
ඉරි තලා පායයි අනෙක් බිම්...
මේ නොවෙ ද?
කර්ම විපාක!

Thursday, June 20, 2013

උපන්දිනය

දින සති මාස අවුරුදු ගත විය බොහොම
කාලය ගෙවුණු සැටි පුදුම යි මට තවම
මිහිපිට ගෙවුණි විසි පස් වසරක් අරුම
දැන් මා වියපත් ය එය පවසනු කොහොම

අම්මා පිදූ නිම් නැති මව් සෙනෙහසට
නිමා කරනු බැහැ ණය මට කිසිම විට
පියා දුන් සවිය නිරතුරු දිවි මගට
කිසිම කලෙක අමතක නම් නොවේ මට

දිවි ගමනේ සුන්දර මතකයන් ගෙනා
ආදරබර මා සොහොයුරියන් දෙදෙනා
දුකට සැපට ළඟ හුන් මිතුරන් නිතිනා
සිහිවේ සැවොම මගෙ දිවි මග එලි ගෙනෙනා

මෙතුවක් කලක් සසරේ මා ආ ගමනේ
ඇරඹුම සොයනු බැරි බව නිසැකව දන්නේ
පූරුවෙ පිනෙනි මිනිසත් භවයක් ලැබුනේ
වීරිය වඩමි සැනසෙන්නට මතු නිවනේ

Monday, May 6, 2013

නොකිව් කව..


ලඹ ඔය සවන් නිල් නෙතු රූ යයි........නොමැකී
ටැඹ වේ පහන් නොසැලෙන නිබඳව ම........රැකී
සිඹ ඔය නළල් තල මට පවසන්න..............හැකී
නුඹ මේ විසල් රැය දිලි පුර පස..................සඳකී

Thursday, April 25, 2013

පර ලොව


ධර්මයෙන් සුපෝෂිත ව පැවැති ලක්දිව දශක කිහිපයක සිට හෞතිකවාදී අදහස් දරන්නන් ඉස්මතු වෙමින් සමාජය මිසදිටු අදහස් වලින් පිරවීමේ උත්සාහයක නිරත වෙයි. එම භෞතිකවාදීන් ට අනුව නැවත ඉපදීමක්, කර්මය විපාක දීමක් නැත. එවන් අදහස් දරන්නන් බහුල සමාජයක්, විනාශය කරා ඇදී යන බව සක්සුදක් සේ පැහැදිලි ය. මා එසේ පවසන්නේ, හොඳ නරක, පින් පව්, පර ලොව ගැන පිළිනොගන්නා තැනැත්තාට තම වාසිය උදෙසා ඕනෑම දරුණු දෙයක් කළ හැකි නිසා ය.
පර ලොවක් ඇතැ යි තහවුරු කරගැනීම ට, පෙර භව දක්නා නුවණක් තිබිය යුතු ය. පරලොවක් ඇතැ යි විශ්වාස කරන්නෝ එසේ කරන්නේ බෞද්ධ ඉතිහාසය ඇසුරින් තමා තුළ ගොඩ නගා ගත් විශ්වාසය නිසා ය. එම විශ්වාසය අධ්‍යාත්මික මාර්ග ඔස්සේ ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගත් අය ද නැත්තේ නොවේ. පර ලොවක් ඇති ද නැති ද යන්න පිළිබඳ විවිධ වාද විවාද පසුගිය දින වල දී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.

අප අතරින් වියෝ වී ගිය මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර මහතා එවන් වැඩසටහනක දී කියූ වටිනා කියමනක් මතක් වී මේ ලිපිය ලියන්නට සිතුවෙමි. එතුමා සුභාෂිතයේ පහත සඳහන් කවිය ගෙන හැර පාමින් මෙසේ පැවසී ය.


ඇතත් නැතත් පර ලොව සුදනෙනි මහත..
හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත..
නැතත් එපර ලොව ඉන් වන අවැඩ නැත..
ඇතොත් නැතැයි පව් කළහට වෙයි විපත..


එහි අරුථ මෙසේ ය.

සත්පුරුෂයනි, පර ලොව තිබුණත් නැතත් වැදගත් ය. එම නිසා සියලු පව් කම් සිතින් ඉවත් කර ගැනීම සුදුසු  ය. පර ලොවක් තොතිබුණත් එසේ කිරීමෙන් කිසිදු අවැඩක් සිතු නොවේ. නමුත් පරලොවක් නැතැ යි සිතා පව් කම් කළහොත්, පර ලොවක් ඇත්නම් ඒ අයට විපත් සිදුවේ.

ඉතින් පර ලොවක් ඇත නැත යන වාද විවාද වලින් තොරව යහපත් දිවි පෙවෙතක් ගත කරන්නාට පර ලොව තිබුණා හෝ නැතා හෝ යහපතක් ම සිදුවේ.

ප.ලි :
පර ලොවක් ඇතැ යි මම විශ්වාස කරමි.